රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙක් මරුට


(ක.ග.කරුණාරත්න සහ සංජය මදුෂාන්)
 
හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ලොරියක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටිම නිසා සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියැදුරා මරුමුවට පත්වී ඇතැයි හබරණ පොලීසිය කියයි.
 
එම අනතුරින් මිය ගොස් ඇත්තේ හබරණ පාර,හිනුක්කිරියාව,ගනේවැල්පොල ලිපිනයේ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ පැතුම් ප්‍රියසාද් කරුණාසේන නැමැති 19 හැවිරිදි තරුණයෙකි.
 
අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි ත්‍රිරෝද රථයේ රියැදුරු ප්‍රතිකාර සඳහා දඹුල්ල මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කලේය.
 
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ලොරිය සහ එය පැදැවූ රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔහු අද(01) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
 
හබරණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

(ඡායාරූප - සංජය මදුෂාන්)