රැදවියන් තිදෙනකුගෙන් මුදල් ගත් බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම්


(නිමන්ති රණසිංහ)

රැඳවියන් තිදෙනකුගෙන් විද්‍යුත් ක‍්‍රමයට මුදල් ලබා ගත් බව කියන බෝගම්බර බන්ධනාගාරයේ නියාමකවරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකුගෙන් රුපියල් 9,000ක මුදලක් විද්‍යුත් ක‍්‍රමයට ලබා ගත් බවට වන චෝදනාව මෙම නියාමකවරයා පිළිගෙන ඇතැයි ද එම මුලස්ථානය සදහන් කරයි.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ පැරණී බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරියේ යෙදී සිටි නියාමකවරයකු බවද බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසිය.

අධිකරණ නියෝග මත බන්ධනාගාර ගතකරනු ලබන නව රැදවියන් නිරෝධායනයට යොමු කිරීම සඳහා පිහිටුවා ඇති බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රාජකාරියේ යොදවා සිටි මෙම නියාමකවරයා එහි තිදෙනකුගෙන් මෙම මුදල් ලබා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද ඔහු සදහන් කළේය.

මෙම නියාමකවරයා විද්‍යුත් ක‍්‍රමයට මුදල් ලබාගන්නා බවට බෝගම්බර බන්ධනාගාරයේ සහාකර අධිකාරිවරයකුට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම කරුණු අනාවරණය වී ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙම නියාමකවරයා සිදුකළ මෙම විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් විනය පරීක්ෂණයකට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කර ඇතැයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.