රාජිත කොමිසමට අද එන්න බැරි බව දන්වයි


(තිළිණි ද සිල්වා)

ජනාධිපතිවරයා අද පස්වරු 3.00ට  හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීම හේතුවෙන් තමන්ට ජනාධිපති කොමිසම හමුවට පැමිණිය නොහැකි බව  අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම කොමිසමට දන්වා ඇත.

අද (19) පස්වරු 1.30ට අමාත්‍යවරයා රාජ‍්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනා‍‍ධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් මෙම හදිසි තත්ත්වය නිසා පැමිණීමට නොහැකි බව අමාත්‍ය සේනාරත්න මහතා කළ දැනුම් දීම සැළකිල්ලට ගනිමින් හෙට (19) මධ්‍යහ්න 12.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ජනාධිපති කොමිසම යළිත්  අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

මා‍ලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ආකාරයෙන් රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදල් වැය කරන බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් ජනා‍ධිපති කොමිසම වෙත පැමි‍ණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙම කැඳවීම කර ඇත.