
(දසුන් රාජපක්ෂ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක මහතාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට අද (21) දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසමේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔවුහු පැමිණ නොසිටියහ.
එබැවින් ඔවුන් දෙදෙනාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ලබන මස 10 වැනිදා යළි ත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා දෙවැනි වරටත් නොතිසි නිකුත් කළේය.
බොරු සාක්ෂි මත තමා අත්අඩංගුවට ගෙන සේවයෙන් පහ කිරීමට එරෙහිව රක්නා ලංකා ආරක්ෂක සේවයේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම තිදෙනා වරදකරුවන් ලෙස නම් කර තිබිණි.
එම පැමිණිල්ල අද(21) යළි කැඳවු අවස්ථාවේ වගඋත්තරකරුවන් පෙනී සිටින්නේ දැයි කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේය. එහෙත් වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා කොමිසම හමුවේ පෙනී නොසිටි අතර වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශානි අබේසේකර මහතාද බන්ධනාගාර නිලධාරීහු විසින් ඉදිරිපත් කරනු ලැබ නොසිටියහ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොමිසමේ සභාපතිවරයා වගඋත්තරකරුවන්ට නැවත වරක් නොතිසි නිකුත් කළ අතර සැප්තැම්බර් 10 වැනිදා මෙම පැමිණිල්ල යළි කැඳවීමට නියෝග කළේය.

