රාජ්‍ය සේවා 18ක නිලධරයෝ අනතුරු අඟවති


(හසිත රංග ගුණතිලක)
 
රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවයට ආණ්ඩුව විසින් ඉදිරි සති දෙක තුළ පැහැදිලි පිළිතුරක් ලබා නොදුනහොත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විගණන නිලධාරීන්, දේශීය ආදායම් නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවාවන් 18ක විධායක නිලධාරීන් 35,000 ක් ඉතිහාසයේ දැවැන්තම වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව රජයට අනතුරු අඟවයි.       

                             
මෙම වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 2,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කර ඇති බවට ආණ්ඩුව විසින් ගෙන යනු ලබන ප්‍රචාරය අමූලික බොරුවක් යැයිද එම කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අද (22) කොළඹ පැවති සාකච්ඡාවකදී පැවසීය.       
                                
රාජ්‍ය සේවක වැටුප් ගැටලුව විසඳීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී ඇතත් මාස තුනක කාලයක සිට ඔහු එය සඟවාගෙන සිටින බවද විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවය කඩිනමින් විසඳන්නැයි ජනාධිපතිවරයා අගමැතිවරයා මුදල් ඇමැතිවරයා ඇතුළු වගකිවයුතු සියලුම නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඔවුන්ගෙන් පැහැදිලි විසඳුමක් නොලැබුණු බවද කරුණාසිරි මහතා කීය.