රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ව්‍යාපෘතීන් 184 ක්


(මනෝජ් හර්ෂික)

ජාතික, පළාත් හා ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණයට අවශ්‍ය ව්‍යාපෘතින් 184 ක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

නූතන තාක්ෂණය සහ වඩාත් කාර්යක්ෂම මහජන සේවයක් ඇති කරවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී තිබේ.

ඒ අනුව සියළුම රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක වන ඩිජිටල්කරණ ව්‍යාපෘති පිළිබඳව තොරතුරු රැස්කර එම ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය සමාලෝචනය කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන බාධකවලට විසඳුම් සපයමින් කඩිනමින් සහ නිවැරදිව එම ව්‍යාපෘති සාර්ථකත්වය සඳහා ගමන් කරවීම මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වේ.

මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීම සහ ප්‍ර‍ගති සමාලෝචනය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පි. පෙරේරා මහතා විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.

කමිටුව විසින් මේ වන විට ව්‍යාපෘති 184ක තොරතුරු ලබාගෙන ඇති අතර එම සියළුම ව්‍යාපෘතිවල ඉලක්ක ගත කඩඉම් සමඟ වර්තමාන ප්‍ර‍ගතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් මෙම මස 30 වැනිදා වන විට ඉදිරිපත් කිරීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.