රාජ්‍ය ඇමති පුටුවෙන් විදුර අයින් වෙයි?


 ( +++ නාලක සංජීව දහනායක)

රාජගිරිය අතිසුඛෝපභෝගී ගොඩනැගිල්ලක පිහිටුවා තිබෙන කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර කඩිනමින් ගොවිජන මන්දිරයට රැගෙන නොයෑම හේතුවෙන් තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ‘ලංකාදීප’යට ඊයේ (13) පැවැසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට ස්ථාපිත කර තිබෙන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලෙන් ඉවත් කර යළි ගොවිජන මන්දිරයට රැගෙන යන ලෙසට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබියදීත් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එම තීරණයට අකුල් හෙළමින් එම තීරණය කල් දැමීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව ද අමාත්‍යවරයා කීය.

රටම පිළිගත් උගතුන් යැයි කියමින් වියත්මග සංවිධානයෙන් ද ඇතැම් අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන සඳහා දූෂිත නිලධාරීන් පත්කර සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනමින් තීන්දුවක් ගත යුතු බව ද කීය.

තමන්ට එවැනි නිලධාරීන් සමග කටයුතු කළ නොහැකි බැවින් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට ගෙන ඒමේදී නිලධාරීන් කිහිපදෙනකුට චෙක්පත් ලැබී ඇත්දැයි තමන් මේ දිනවල සොයන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.