රාජ්‍ය ආයතනවලට ඩිජිටල් විද්‍යුත් ගෙවීමේ ක්‍රමයක්


(ඩයනා උදයංගනී)


රාජ්‍ය ආයතනවල සියලු ගෙවීම් සහ අය කිරීම් ලබන වසරේ මාර්තු මාසයේ සිට ඩිජිටල් විද්‍යුත් ගෙවීම් පහසුකම් යටතේ පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

ඊට  අදාල තාක්ෂණික මඟපෙන්වීම මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ, රාජ්‍ය ආයතන වෙත ලබාදෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා රටේ ඩිජිටල් පරිවර්තනයක් සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි ද කීවේය.

එමෙන්ම සයිබර් ආරක්ෂණ පනත මේ වසර ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික තොරතුරු හා  සයිබර් ආරක්ෂණ  මූලෝපායික සැලැස්ම යටතේ මෙම පනත  ගෙනඑන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇතැමුන් ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතාකිරීම පාලනයට සහ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමටත්, තොරතුරු හා සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරිය පිහිටුවීමටත් මෙමගින් හැකියාව ලැබෙන බව කනක හේරත් මහතා කීවේය.  


කනක හේරත් මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ  මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ  ලෝක බැංකුව  එක්ව  කොළඹදී පැවැත්වූ වැඩමුළුවකට එක්වෙමිනි.