(පැතුම් දර්ශන)
හොරොව්පොතාන පත්තෑව මුස්ලිම් විදුහලේ ගුරුවරයකු පාසල් කාලය තුළදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් මැතිවරණ නීති උල්ලංඝණය කරන බවත් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී ඒ.ආර්.අබ්දූල් හුසෙන් මහතා අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණිලි කර තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා මාර්ගයෙන් සිදු කර ඇති එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම ගුරුවරයා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් රාජකාරී වේලාව තුළ ප්‍රදේශයේ ජනතාවට විවිධ ද්‍රව්‍යමය ආධාර ලබාදෙන බවය.
ජනතාව නොමඟ යවනසුළු අසත්‍ය ප්‍රචාර කර ඡන්ද දායකයාගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරන මෙම ගුරුවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පළාත් සභා මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් තවදුරටත් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බී.එම්.සුපියාන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය.
"දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මෙම පැමිණිල්ල ලැබිලා තියෙනවා. ඒ අනුව මෙම පාසලේ විදුහල්පතිවරයාට අපි ලිඛිතව දන්වලා තියෙනවා 2019. නොවැම්බර් 16 වෙනිදාට නිකුත් කර ඇති චක්‍රලේඛයට අවධානය යොමුකර එහි විධිවිධානවලට පටහැනිව කටයුතු නොකරන ලෙසට අදාළ ගුරුවරයාට දන්වන්න කියා අප විදුහල්පතිට දැන්වුවා"යැයි ද ඒ මහතා පැවසීය.

