රවීගේ යෝජනාවට මංගලගේ විරෝධය


(අජන්ත කුමාර අගලකඩ)

විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයාම සඳහා රුපියල් මිලියන 364 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත්කරන ලද කැබිනට් සංදේශයට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (23) පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.

මෙම කැබිනට් පත්‍රිකාව මීට පෙරද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සිය විරෝධය පළකර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවැති කැබිනට් රැස්වීමේදී අදාළ යෝජනාව සාකච්ඡාවට ලක්වී ඇති අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළ කර ඇත.

කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ කුලි ගොඩනැගිල්ලක පවත්වාගෙන යන විදුලිබල අමාත්‍යාංශය කොළඹ නවම් මාවතේ පිහිටි කුලී ගොඩනැගිල්ලකට ගෙනයාම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

අදාළ කැබිනට් සංදේශය සාකච්ඡාවට ගත් අවස්ථාවේ අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා මේ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිඳු මුදලක් ලබාදිය නොහැකි බව පවසා ඇතැයි දැනගන්නට තිබේ.

අලුතින් කාර්යාලවලට මුදල් වියදම් නොකරන බවට තින්දුවක් ගෙන ඇති බවත් එබැවින් විදුලි බල අමාත්‍යාංශයේ යෝජනාවට එකඟවිය නොහැකි බවත් සමරවීර මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා අදහස් දක්වමින් අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ ඉඩකඩ පහසුකම් අඩු බැවින් වෙනත් ස්ථානයකට රැගෙන යන බව සඳහන් කර ඇත.

ඒ අනුව විදුලි බල අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙන යාමට අවශ්‍ය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලංකා විදුලි සමාගමෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවද වාර්තා වේ.