රවිගේ අමාත්‍යාංශය වෙන තැනකට ගෙනයන්න මිලියන 364 ක් ඉල්ලයි


විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයාම සඳහා රුපියල් මිලියන 364ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමැති  රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට්  සංදේශයට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (23) පැවැති කැබිනට් රැස්වීමේදී  දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තා වේ.

මෙම කැබිනට් පත්‍රිකාව මීට පෙර ද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා සිය නිරීක්‍ෂණ ඉදිරිපත් කරමින් මෙසේ සිය විරෝධය පළකර තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ උදේ පැවැති කැබිනට්  රැස්වීමේදී ද අදාළ යෝජනාව සාකච්ඡාවට ලක්වී ඇති අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළකර ඇත.

කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන විදුලිබල අමාත්‍යාංශය කොළඹ නවම් මාවතේ පිහිටි කුලී ගොඩනැගිල්ලකට ගෙනයාම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

අදාළ කැබිනට් සංදේශය ඊයේ සාකච්ඡාවට ගත් අවස්ථාවේ අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා මේ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු මුදලක් ලබාදිය නොහැකි බව පවසා ඇතැයි දැනගන්නට තිබේ.

අලුතින් කාර්යාලවලට මුදල් වියදම් නොකරන බවට තීන්දුවක් ගෙන ඇති නිසා විදුලිබල අමාත්‍යාංශයේ යෝජනාවට එකඟවිය නොහැකි බවත් සමරවීර මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

විදුලිබල, බලශක්ති  හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා අදහස් දක්වමින් අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ල ඉඩකඩ පහසුකම් අඩු බැවින් වෙනත් ස්ථානයකට රැගෙන යන බව සඳහන් කර ඇත.

ඒ අනුව විදුලිබල අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයාමට අවශ්‍ය මුදල් විදුලිබල අමාත්‍යාංශය යටතේ ඇති ලංකා විදුලි  සමාගමෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බව ද වාර්තා වේ.