රඹුක්කන එස්.එස්.පීගේ ඇප දීම නීතිපති විරුද්ධයි


(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදා හැරීමට විරුද්ධ බව නිතිපතිවරයා අභියාචනාධිකරණයට අද (27) දැනුම් දුන්නේය.

නිතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙලෙස දැනුම් දුන්නේ, කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනකු ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ  කැදවූ අවස්ථාවේදීය.

මෙම රිට් පෙත්සම, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (27) සලකා බැලිණී.

ඒ අනුව මෙම පෙත්සම ලබන 29 වැනිදා නැවත සලකා බැලිම සදහා දින නියම කෙරිණී.

කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු ගොනු කර තිබූ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියේ, නිතිපතිවරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසකි.

තෙල්මිල වැඩීවීම සම්බන්ධයෙන් රඹුක්කන ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයක් අතරතුරදී ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධියේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මියයෑමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති නියෝගය නිතියට පටහැනි බව පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් දක්වා ඇත.