රනිල්ට චීන ජනාධිපතිගෙන් සුබ පැතුම්


(විමුක්ති එස් රුද්‍රිගු)

රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව අසන්නට ලැබීමෙන් තමන් සතුටට පත් වුණු බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා නිවේදනයක් නිකුත් කරමින්  ප්‍රකාශ කළේය. 

චීන ජනාධිපතිවරයා ලෙසත් චීන ජනතාව වෙනුවෙනුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් බවත් දීර්ඝ කාලයක් චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සහයෝගීතාවය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ අයෙක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින තාවකාලික දුෂ්කරතා මඟහරවා ගනිමින් සමාජීය සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙතැයි චීන ජනාධිපති ෂි ජින්පින් මහතා විශ්වාස කරන බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.