(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අරමුණ ජනාධිපති පුටුවේ වාඩි වී සිට තමන්ගේ වැඩ කර ගැනීම නොව රට හරි තැනට ගෙන ඒම යැයි එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට නිදහස ලබා ගන්නා විට ඩී.එස් සේනානායක මහතාගේ අදහස වූයේ සියලු ජාතීන් එකතු කර ගැනීම බව කී විජයවර්ධන මහතා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ රටේ ආර්ථික ගැටලු හදා ගැනීමට නම් සියලු දෙනා එකතු විය යුතු බව යැයි පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්වීම් සඳහා දැන් විවිධ පක්ෂ වලට ඡන්දය දුන් ජනතාව පැමිණෙමින් සිටින බව කී විජයවර්ධන මහතා රට හදන්න නම් සියලු දෙනා එකතු විය යුතු බව රටේ පොදු ජනතාවට දැන් වැටහෙමින් තිබෙන බවද සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පාක්ෂික හමුවක් අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.

