(මනෝප‍්‍රිය ගුණසේකර)
මේ වන විට මහත් ආන්දෝලනයට ලක් වී ඇති රන්ජන් රාමනායක මහතාගේ හඬපට හේතුවෙන් සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන නිලධාරීන් රාජකාරී කටයුතු වලදී දැඩි අපහසුතාවයට මුහුණ දෙන බව එම නිලධාරීන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මහජනතාවට විශ්වාසය තැබිය හැකි වන අන්දමට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරදෙන ලෙස සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක‍්‍රියාත්මක කරන්නන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසි ක‍්‍රියාත්මක කරන්නන්ගේ සංගමයේ සභාපති සුදත් පාලිත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම මාධ්‍ය නිවේදනයේ රංජන් රාමනායක මහතාගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් අධිකරණ ක්‍ෂේත‍්‍රයට විශාල කළු පැල්ලමක් සිදුවී ඇති බවද සඳහන් කර ඇත.
අධිකරණ නියෝග මත නඩු වල විත්තිකරුවන්ට හා පාර්ශ්වකරුවන්ට සිතාසි හා නොතිසි භාරදීමට ක‍්‍රියා කරන ඇතැම් අවස්ථාවලදී සමහර පුද්ගලයින් අධිකරණයට දෝෂාරෝපණ කරමින් දක්වන ප‍්‍රතිචාර හේතුවෙන් රාජකාරී කටයුතු වලදී තමන් දැඩි අපහසුතාවයට මුහුණ දෙන බව පෙන්වා දෙන ඔවුහු මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත.

