රන්ජන්ගේ හඬ පටයකින් තවත් ඇවිස්සිල්ලක්


( +++ සුජිත් හේවාජුලිගේ)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා බුදුන්වහන්සේට, යශෝධරා දේවියට, සුද්ධෝධන රජතුමාට හා මරිය මව්තුමියට අපහාස වන අන්දමින් කැළැයි කියන ප්‍රකාශ ඇතුළත් ආන්දෝලනාත්මක තවත් හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (13) සංසරණය වෙමින් තිබිණ.

මේ අපහාසාත්මක ප්‍රකාශ සඳහන් වන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා තරුණ රංගන ශිල්පිනියක අතර සිදුවන දුරකථන සංවාදයක් ඇතුළත් හඬ පටයකය.

මෙයට අමතරව ගොංගාලේගොඩ බණ්ඩා විරුවාටත් මේ රටේ ප්‍රසිද්ධ දේශපාලන පවුල් කිහිපයක ඇතැම් සාමාජිකයන්ටත් අපහාසවන ආකාරයේ ප්‍රකාශ ද මේ හඬ පටයට ඇතුළත්වී ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මේ වනවිට රන්ජන් රාමනායක මහතාට සම්බන්ධ හඬපට 28ක් සමාජ මාධ්‍යවල සංසරණය වන අතර මේ හඬපටවලට ඇතුළත්වී ඇති බොහෝ සංවාද මේ රටේ විවිධ ක්ෂේත්‍රවල විශාල ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවී ඇත.

ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.