(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද යන්න පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 05 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද(31) තීන්දු කළේය.
රංජන් රාමනායක මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග එදින තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැදවූ අතර එහිදී විනිසුරු මඩුල්ල සදහන් කර සිටියේ අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට සූදානම් නොමැති හෙයින් ලබන 05 වැනිදා එම තීන්දුව ප්‍රකාශ කරන බවය.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
2020 අගෝස්තු 05 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගට පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් තමාට ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව සිර දඩුවම් නියම වුවද ඉන් දින 4 කට පසුව ඉකුත් 19 වැනිදා තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නට පළමු වගඋත්තරකාර පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන බව තොරතුරැ මගින් දැන ගන්නට ලැබුණු බවද ඔහු කියා සිටී.
එසේ කළහොත් එය නීතිවිරෝධී බවත් , පාර්ලිමේන්තු මහලේකම්වරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමින් ඉල්ලා තිබිණි.

