රන්ජන්ගේ දුරකතන හඬපට වල පිටපත් හෙට පොලිසියට


(ඉන්දිකා රාමනායක)

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  සතුව තිබූ  ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත්  හඬපට ප්‍රමාණය විශ්ලේෂණ කිරීම සඳහා එම හඬපට වල පිටපත් හෙට (30) පොලිසිය වෙත ලබා දීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

මෙම හඬපට පිටපත් කිරීම සඳහා  සිංගප්පූරුවෙන් ආනයනය කළ නවීනතම උපාංග වලින් සමන්විත වැඩි ධාරිතාවයෙන් යුත් දෘඩ තැටි ඇතුලු උපාංග රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම හඬපට පිටපත් ලැබුණු පසු ඒවා විශ්ලේෂණය කිරීම සඳහා පත්කර ඇති විශේෂ පොලිස් කණ්ඩායම් ඒවා  විශ්ලේෂණය කිරීමට නියමිතව ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතාගේ  අධීක්ෂණය හා උපදෙස් මත මේ සඳහා සහකාර පොලිස්  අධිකාරීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත  විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක්  පත්කර ඇති බව පොලිසිය කියයි.

මෙම හඬපට විශ්ලේෂණය  කර  රන්ජන් රාමනායක මහතා අධිකරණයට , අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ  පරීක්ෂණවලට සිදුකර ඇති  බලපෑම්  සම්බන්ධයෙන්  අපරාධ නඩු විවිධාන සංග්‍රයට අනුකූලව වෙන් වෙන් වශයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර  ඔහුට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කරන බවද  පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.