රදම් කරත්තය විදුලි රැහැනේ වැදී 2ක් මරුට


(ප්‍රසන්න පද්මසිරි සහ පාලිත ආරියවංශ )

පස්සර නමුණුකුල කන්දේහේන කතරගම දේවාලයේ රදම් පෙරහැරේ දෙවියන් රැගෙන ගිය ටැක්ටර් රථයේ සවිකර තිබු රදම අධි බලැති විදුලි රුහැනක පැටලී විදුලි සැර වැදී එහි ගමන් කළ තරුණයින් දෙදෙනෙකු අද 24 උදේ මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලිසිය කියයි,

මෙම අනතුරින් නමුණුකුල,බූටාවත්තේ පදිංචි ගනේෂන් රමේෂ් (37) සහ පන්නීර් සෙල්ව කුමාර් (27) යන තරුණයින් දෙදෙනා මියගොස් තිබෙන අතර ගානන්ද සෙල්වම්,එම්.මහදේවන් සහ ඩී.රාසයියා යන තිදෙනා තුවාල ලබා පස්සර දිසා රෝහලේ ප්‍රතිකාර ගන්නා බව පොලිසිය කියයි,

කන්දේහේන කතරගම දේවාලයේ වාර්ෂික දේව උත්සවයට සමගාමීව 23 සවස දෙවියන් රැගෙන පිටත්වු රදම් පෙරහැර කන්දේහේන,දේවතුර,බූටාවත්ත ගම්මාන හරහා වීදි සංචාරය කිරීමෙන් පසු 24 උදේ 6.30ට පමණ නැවත දේවාලයට පැමිණෙමින් සිටියදි බූටාවත්ත ප්‍රදේශයේදි මාර්ගය හරහා උඩින් දිවෙන අධිබලති විදුලි රැහැනක ටැක්ටර් රථයේ සවිකර තිබුන දෙවියන් තැම්පත් කළ  රදම වැදීමෙන් විදුලිය එයට වැදී රදම පාමුල සිටි පුද්ගලයින් පස් දෙනෙකුට විදුලි සැර වැදී තිබෙන බව පොලිසිය කියයි,

තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් සිටි බවත් තුවාල ලැබු තිදෙනා සමග පස්දෙනාම පස්සර දිසා රෝහලට ගෙනා බවත් පොලිසිය කියයි,

විදුලි සැර වැදීමෙන් තුවාල ලැබු තිදෙනා පස්සර දිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර මියගිය දෙදෙනාගේ මුත ශරීර එම රෝහලේ මුත ශරීරාගාරයේ තැම්පත් කර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත,

බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල  මහතාගේ උපදෙස් මත නමුණුකුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ,