(ඩී.ජී.සුගතපාල)
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් ඔක්තෝබර් 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (30) නියෝග කළේය.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු පොලිස් නිලධාරින් 15 දෙනෙකු සහ වලස්මුල්ල අඩවි වන නිලධාරි කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකි.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනිදා පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කැබ් රථයේ සහ වෑන් රථයේ තිබී සොයා ගත් හිසකෙස් සැකකරුවන්ගේ ද නැතිනම් ඝාතනයට ලක්වූ අයගේද යන්න පිළිබඳව රජයේ රස පරික්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ ඒ.පී.ජී.සරත්චන්ද්‍ර,රවි ඩොමිංගෝ,ඉෂාන් ගම්පලගේ.යන මහත්වරු ඇතුළු නිතිඥවරු පිරිසක් පෙනී සිටි අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් සුමිත්(77667) මහතා විසින් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වන ලදී.

