රතන හිමියෝ - ආනන්ද අලුත්ගමගේ සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගැටෙති


(නාලක සංජීව දහනායක)
 
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (09) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ සහ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අතුරලියේ රතන හිමි විසින් ආරම්භකළ මාරාන්තික උපවාසය හේතුවෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව විපක්‍ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව යටපත් කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වූ බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශකර තිබේ.
 
ඉන් ප‍්‍රයෝජන ගත් ආණ්ඩුව විශ්වාසභංගය මඟ හැර ගියබවත්, රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තම නිවරදි බව ඔප්පු කිරීමට උත්සාහගත් බවත් ආනන්ද අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා පවසා ඇත.
 
ඒ අවස්ථාවේ පැවැති තත්ත්වය අනුව සිදුකළ යුතු සුදුසුම ක‍්‍රියාව තමන් කළ බවත් එය හොඳ හිතින් කළ දෙයක් බවත් අතුරලියේ රතන හිමියෝ එහිදී පවසා තිබේ.
 
එහෙත් මාරාන්තික උපාවාසය හේතුවෙන් ආණ්ඩුව පරාජය කිරීමට තිබූ අවස්ථාව මඟ හැරුණ බව අලුත්ගමගේ මන්ත‍්‍රීවරයා නැවතත් ප‍්‍රකාශ කර ඇත. ඊට අමතරව අනෙක් මන්ත‍්‍රීවරුන්ද උපවාසයට එරෙහිව අදහස් දැක්වූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
දිගින් දිගටම ඇදී යන මෙම වාදය නතර කිරීමට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාටද මැදිහත්වීමට සිදුව ඇත.
 
පසුගිය දේවල් කතා කිරීමෙන් තේරුමක් නැති බවත්, ඉදිරියේදී කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් විපක්‍ෂනායකවරයා පවසා තිබේ.
 
ඒ සමඟම අතුරලියේ රතන හිමියෝ රැස්වීම් ශාලාවෙන් පිටතට වැඩම කර ඇති අතර එසේ නොකරන ලෙසට විපක්‍ෂනායකවරයා උන්වහන්සේගෙන් ඉල්ලීමක්ද කර ඇත.
 
එහෙත් උන්වහන්සේ ඒ පිළිබඳව තැකීමක් නොකර මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමෙන් ඉවත්ව ගිය බවද වාර්තාවේ. 
 
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම අද (09) පෙරවරු 11.00 පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 2 දී විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්විය.
 
ජනාතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව සහය දීමටද මන්ත‍්‍රී කණ්ඩායම එහිදී තීරණය කර ඇත.