රටේ ඉහළම නායකයෙක් මත්ස්‍ය සම්පත කොල්ලකන්න ඉන්දියාවට ඉඩදීලා


 
මේ වෙන කොට ඉන්දීය ධීවර යාත්‍රා 4000ක් පමණ මෙරට උතුරු හා නැගෙනහිර මුහුදු තීරය ආක්‍රමණය කොට අපේ මත්ස්‍ය සම්පත කොල්ලකනවා. නාවික හමුදාව එම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගන්න පියවර ගන්නේ නෑ. ඊට අපේ රටේ ඉහළම පෙළේ නායකයකු බලපෑම් කරනවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා  තංගල්ලේදී පැවැසීය.

ඔහු මෙසේ පැවැසුවේ තංගල්ල, රැකව පිහිටි ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා මෙසේද කීය.

මේ රටේ ඉහළම නායකයකු තමන්ගේ පුටුව රැකගන්න අපේ රටේ මත්ස්‍ය සම්පත ඉන්දියාවට කොල්ලකන්න ඉඩදී තිබෙනවා. ඉන්දීය ධීවර යාත්‍රා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට එම නායකයා මැදිහත්වී තිබෙනවා. අපේ රටේ සම්පත් විකුණා හෝ තම පුටුව රැකගැනීමට කවුරුන් හෝ උත්සාහ කරනවා නම් එය ලජ්ජාසහගත ක්‍රියාවක්. නායකයන් එවැනි දේවල් සිදුකළ යුතු නැහැ.

2015 දී අපේ රජය බලයට පත්වුණාට පසුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉන්දීය නායකයන් සමග සාකච්ඡා කොට මෙම ඉන්දීය ධීවර ආක්‍රමණය අවමකිරීමට කටයුතු කළා. එම ගැටලු විසඳී තිබුණ නිසා අපේ මත්ස්‍ය සම්පත නෙළාගන්න අපේ ධීවරයන්ට හැකිවුණා. නමුත් මේ රටේ ඉහළ නායකයකු නිසා අද ඒ මත්ස්‍ය සම්පත් ඉන්දීය ධීවරයින් අතට පත්වී තිබෙනවා යැයි ධීවර රාජ්‍ය ඇමැතිවරයා කීය.