රටේ ආදායම ගැන බන්දුලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප් බිල ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් අද  නොලැබෙන බවත් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන හේතුවෙන් මුදල් අච්චු ගැසීමටද  හැකියාවක් නැති  බවත්  ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

මේ අතර  මාර්ග සංවර්ධන අධිකාරියේ අවසන් කළ ව්‍යාපෘති සඳහා රැපියල් කෝටි දහදාහකට  අධික වටිනා හිඟ  බිල්පත් ගෙවීමට ඇති බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ආර්ථික අර්බුදය හේතුවෙන්  රජයේ මාසික වැටුප් බිල පවා ගෙවාගන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නෑ. අපි මේ සභාවේ කතා කළ යුතු ප්‍රශ්නය තමයි රාජ්‍ය ආදායම. අපිට   ගෙවා ගන්න බැරිව ලොකු හිඟ බිල්පත් ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කරලා නිම වුණු වැඩ වලට මගේ ළඟ බිල්පත් තියෙනවා. බිලියන 100ට අධික ප්‍රමාණයක්. ඒ අය පත්වෙලා සිටින  දුෂ්කරතාව අපිට හොඳට තේරෙනවා. මොකද ණය වෙලා, බැංකු පොලී අරන් තමයි ඒ කොන්ත්‍රාත් අරන් තියෙන්නේ.

කලින් ක්‍රමයට අච්චු ගහලා දෙන්නත් බෑ.  ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහනක් යනකොට අපිට  වැරදුණ කිව්වොත් තවදුරටත් ඒ යෝජනා වලට යන්න බැරි තත්වයක් ඇතිවෙනවා.