රටින් රෙදි ගෙන්වීමට පසුගිය කාලයේ කෝටි එක්ලක්ෂ හැටතුන් දහසක් වැය කරලා


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට රෙදිපිළි සහ ඇදුම් ආනයනය කිරීම සඳහා 2015සිට 2019වර්ෂය දක්වා රුපියල් කෝටි එක් ලක්ෂ හැටතුන් දහසක් වැය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවැසීය.

මුදල් රාජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

නිමි ඇඳුම් කර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය මැදිහත්කරුවෙකු සහ පහසුකම් සලසන්නෙකු ලෙස උපරිම සහය ලබාදෙන බවද මීට අදාළව රේගුවේ කාර්‍යභාරය තවදුරටත් ශක්තිමත් කරන බවද හෙතෙම කීවේය.

රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා රජය මේ දිනවල සිදු කරන්නේ අත්‍යවශ්‍යම ආනයන පමණක් බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

රෙදි පිළි සහ ඇඳුම් ආනයනය වෙනුවෙන් පසුගිය රජ සමයේ දී අති විශාල මුදල් කන්දරාවක් වැය කර ඇතැයි මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.