(නාලක සංජීව දහනායක)
රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන්වීම නතර කර ඒවා නිෂ්පාදනය කිරීම කොලොන්නාවේ පිහිටි කර්මාන්ත ශාලාවෙන් ලබාදෙන ලෙසට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශයේ බලධාරීන්ට අද (30) උපදෙස් දුන්නේය.
එමෙන්ම රජයේ විවිධ ආයතනවලට අවශ්‍ය විවිධ උපකරණ නිපදවීම හා අලූතින් ඉදිකරන මහල් නිවාස සංකීර්ණ සඳහා ඇලුමිනියම් වලින් නිෂ්පාදිත දොර ජනෙල් යොදා ගන්නා ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.
එම සියළුම නිෂ්පාදන කටයුතු කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවෙන් සිදුකරන ලෙස උපදෙස් දුන් අතර එමගින් විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බවද පෙන්වා දුන්නේය.
බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

