රාජ්‍ය ආයතනවල රැකියා අවස්ථා දෙන බවට මහජනතාව මුලා කරමින් මුදල් වංචා කරන පිරිසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඇතැම් වංචනික පිරිස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සමීප සබඳතා තිබෙන බව අඟවමින් මෙම කූට ව්‍යාපාරයේ නිරත වන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙන බවත් ඊට සම්බන්ධ දෙදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (9) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බවත් එම නිවේදනයේ දැක්වේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු රාජාංගනය, යාය 08 පදිංචි වයස අවුරුදු 47ක් වන නිහාල් දසනායක නමැත්තෙකි. අනෙක් පුද්ගලයා සෙවනගල, සමගිපුර පදිංචි නුවන් ජයකොඩි යන අයයි.
දියණියට ගුරු පත්වීමක් ලබාදෙන බව පවසා ප්‍රධාන සැකකරු විසින් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඉල්ලා තිබේ. උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කළ බවට ඇඟවෙන ව්‍යාජ ලිපියක් ද පත්වීමට අදාළව සකස් කර ඇත. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියකු බව සඳහන් කරමින් නුවන් ජයකොඩි නමැත්තා ලවා අදාළ කාන්තාවට දුරකථන ඇමතුමක් ද දී තිබේ.
අනතුරුව මුදල් රැගෙන කොළඹ ඉසුරුපාය ඉදිරිපිටට පැමිණෙන ලෙස දන්වා ඇති අතර, සැකකරුවන් දෙදෙනා අදාල කාන්තාවන්ගෙන් මුදල් ලබාගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙහෙයවනු ලබයි.
මෙවන් සිදුවීම් පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනතාවට දැනුම් දෙයි. ඕනෑම අවස්ථාවක 0718591017 දුරකථන අංකය ඔස්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ කර ගැනීමෙන් හෝ 0112662323 හෝ 0718591727 දුරකථන අංක ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන මහතා සම්බන්ධකර ගැනීමෙන් තොරතුරු ලබා දිය හැකිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ස්ථීරාසාර පිළිවෙත වනුයේ සෑමවිටම පිළිගත් ක්‍රමවේදයට හා පටිපාටියට අනුව වැඩ කිරීමයි. රජයේ ආයතනවල රැකියා ලබාදීම සිදු කෙරෙන්නේ ද එම පිළිවෙත අනුවය. එබැවින් මෙවැනි වංචනික පුද්ගලයන්ට නොරැවටෙන්නැයි ජනාධිපති කාර්යාලය ද ජනතාවට කාරුණිකව දන්වා සිටින අතර එවන් පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරයි.
055

