රජයේ විධායක නිලධාරීහු වැඩවර්ජනයකට සූදානම් වෙති


(ජයන්ත සමරකෝන්)

රජයේ  විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතාවන්ට ආණ්ඩුවෙන් ප්‍රමාණවත් විසඳුමක් නොලැබීමට එරෙහිව මේ මස 23 වැනිදා රටපුරා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් ඊටද ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් 25 වැනිදා සිට රටපුරා අඛණ්ඩ වැඩවර්ජනයක් පවත්වන බවත් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් ඒච්.ඒ.එල් උදයසිරි මහතා අද (18) පැවැසීය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට වෘත්තිය සමිති 17 කට අයත් සාමාජික සාමාජිකාවන් 30000 ක් පමණ එක්වීමට නියමිත බවද ලේකම්වරයා කීය.

ඉංජිනේරු, මිනින්දෝරු, ආයුරුවේද වෛද්‍ය, දේශීය ආදායම් කොමසාරිස්වරුන් ඇතුළු රජයේ විධායක නිලධාරීන් රැසක් මේ අතර වන බවද හෙතෙම සඳහන් කළේය.

සංගමයට අයත් සෑම සේවාවකම නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම හා ලබාදී ඇති දීමනා කප්පාදු නොකිරීම මෙහි ප්‍රධාන ඉල්ලීම් අතර වන බවද එම සංගමය කියයි.