රජය ප්‍රමුඛතාව රටේ ආර්ථිකය ගොඩගැනීමටයි


(අංජුල මහික වීරරත්න)

රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති  රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි. 

රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මේ වසර අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීයව ක්‍රියාත්මක වන සමාජයක් ගොඩනඟන බවට ද සහතික විය.

එමෙන්ම රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බව ද කියා සිටියේය. 

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයකු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නමුත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් සඳහන් කළේය.