රංචුවෙන් මඟ හැරී හරක් සමග ගමට ආ අලි පැංචා


(නිමල් ජයරත්න)

පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග  දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන්  රැළෙන් අතරමංව වූ අලි පැටවකු  මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිටි ගවමඩුවක් වෙත පැමිණ සිටියදී යළි කැලයට මුදා හැරීමට කටයුතු කළ බව පොලොන්නරුව වනජීවි කාර්යාලය කියයි. 

මෙලෙස මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයේ පිහිටි ගව මඩුවක් වෙත පැමිණි  අලි පැටවා සෝමාවතිය රක්ෂිතයේ සැරිසරන වයස අවුරුදු 4-5 ත් අතර පසුවන උස අඩි 05 ක් පමණ වන අලි පැටවකු බව  පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.

මී හරක් රංචුව සමග ඉතා සමීපව සැරිසරන මෙම අලි පැටවා දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් එම ගව මඩුව වෙත පැමිණෙමින් සිට්යහ.

රැළෙන් මග හැරී ගම්මානය වෙත පැමිණ සිටින මෙම අලි පැටවා පිලිබදව ගම්වාසීන් විසින් පොළොන්නරුව සහ මනම්පිටිය වනජීවී කාර්යාලය දැනුවත් කිරීමෙන් එම අලියා කැලයට මුදා හැරීමට කටයුතු කළ බව වනජීවි කාර්යාල ප්‍රකාශකයෙක් පැවැසිය.