
(දිනේෂ් උපේන්ද්‍ර)
මහා භාණ්ඩාගාරයේ විදෙස් සම්පත් ඒකකයේ සේවය නියුතුව සිටියදී මියගොස් සිටි රංග නිශාන්ත මහතාගේ මරණය තමන් විසින්ම කැපුම් තුවාල සිදුකරගත් නිසා ඇතිවූ මරණයක් බවට සිව් පුද්ගල කමිටුව ඒකමතිකව තීන්දු කළ බැව අධිකරණ වෛද්‍ය නිලධාරී කමිටු සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.
පසුගිය නඩු වාරයේදී මරණකරුගේ බිරිඳ, දියණිය ඇතුළු පිරිසකගේ සාක්ෂි විභාගය පැවැත්වූ අතර අද දිනයේ අධිකරණ වෛද්‍ය නිළධාරී ඉලංගරත්න බණ්ඩා, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් රත්නායක, නිල සුනක්ඛයා මෙහෙයවූ සැරයන් ඇතුළු විමර්ශකයන්ගෙන්. සාක්ෂි ලබා ගැනීම සිදු කළේය.
සාක්ෂි විභාගය මෙහෙයවූයේ වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මරණකරුගේ ශරීරයේ තිබූ කැපුම් තුවාල සහ බල නහර පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල පසුබිමද විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබාදුන් අධිකරණ වෛද්‍ය නිළධාරී ඉලංගරත්න බණ්ඩා මහතා බල නහර ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන ශරීරාංගයක් නොවන බවත් ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය මහාචාර්‍යවරුන් හා සමගද සාකච්ඡා කළ බවත් දන්වමින් මෙම මෘත දේහය ඉතා සියුම් ආකාරයෙන් විච්ඡේදනය කරමින් පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනාම මෙය තමන් විසින්ම කපාගන සිදුවූ තුවාල බවත් ඉන් රුධිර වහනයවීමේදී ඇතිවූ කම්පනය හේතුවෙන් සිදුවූ මරණයක් බවත් තීරණය කළ බව පැවසීය.
සාක්ෂි විභාගය මැදදී පෙන්වා සිටි මරණකරුගේ ඇඳුම් සෙරෙප්පු හා පිහිය ද වෛද්‍යවරයා හඳුනාගත් අතර තුවාල වූ ස්ථානවල ඡායාරූප අධිකරණය බාරයට පත්කළේය.

