යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම වැඩ අරඹයි


(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු අද (22) නිල වශයෙන් ආරම්භ කළේය.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වන මරිසා මටියාස් මහත්මිය යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර දිමිත්‍රා යුවානෝ  මහත්මිය එහි දෙවැන්නා ලෙස කටයුතු කරන්නීය.

විශේෂඥයන් නව දෙනකු ඇතුළු දීර්ඝකාලීන අත්දැකීම්වලින් සමන්විත 30 දෙනකු-ගෙන් සමන්විත කණ්ඩායමක් මෙවර ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔවුහු කණ්ඩායම් 9ක් ලෙස මෙරට පළාත් නවය ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වෙති.

මැතිවරණ දිනයේදී තවත් පිරිසක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමට එක්වීමට නියමිත අතර ඒ අනුව මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 16 වැනිදා මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වන සම්පූර්ණ පිරිස 80ක් බව ද එම කණ්ඩායම සඳහන් කළේය. අවසාන දිනයේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 7 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිතය.

මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලදී නෛතික රාමුව, මැතිවරණ පරිපාලනය, ඡන්ද ලියාපදිංචිය, මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය, සමාජ මාධ්‍යය ඇතුළු මාධ්‍යය භාවිතය, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණනය හා සැසඳීම, ප්‍රතිඵල නිකුත් කිරීම යන අංශ ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වේ.

(ඡායාරූප - නිමලසිරි එදිරිසිංහ)