යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් ලංකාවේ


(අංජුල මහික වීරරත්න)

ආසියාවේ HIV රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බවසෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

රටේ ජනගහනයට සාපේක්ෂව HIV සමග ජීවත්වන්නන්ගේ ප්‍රමාණය සැලකීමේ දී එය ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රශංසනීය කරුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා  කීය.

ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය  ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් වලට අමතරව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් බෙහෙවින් හේතු සාධක වන බව ද හංසක වි‍ජේමුණි මහතා පැවසීය. 

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ සංචාරයක නිරතව සිටින ලිංගික හා ප්‍රජනන අයිතිවාසිකම් සඳහා වූ යුරෝපීය පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් වෙනුවෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය සංවිධානය කළ  උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය. කොළඹ කිංග්බරි හෝටලයේ දී මේ උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ආරාධනාවක් අනුව මෙරට ට පැමිණි යුරෝපීය පාර්ලිමේන්තු සංසදයේ නියෝජිතයන් පිරිස දින පහක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වු අතර එම කණ්ඩායම මඩකලපුව, නුවරඑළිය සහ  ගාල්ල යන දිස්ත්‍රික්ක වල නිරීක්ෂණයේ ද නිරත විය.

ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය, ෆින්ලන්තය, ස්වීඩනය, ඕස්ට්‍රියාව, බෙල්ජියම ඇතුළු තවත් රටවල් කිහිපයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු  නියෝජිතයින් මෙම කණ්ඩායමට ඇතුළත් වේ.