යුද සමයේ කොටි ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කර පවුල්වලට බාර දීලා


(තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති කාල සීමාවේදී එල්.ටී.ටී.ඊ. යේ සිටි ළමා සොල්දාදුවන් 594 දෙනාම මේවන විට පුනරුත්ථාපනය කර නැවත ඔවුන්ගේ පවුල් සමඟ එක් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති බව නිව්යෝක් හී එක්සත් ජාතීගේ ශ්‍රී ලංකා නිත්‍ය නියොජිත මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ළමුන් හා සන්නද්ධ ගැටුම් පිළිබඳ රැස්වීමකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා මේ බව සදහන් කළ බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් වැඩිදුරටත් කීය.
 
බලහත්කාරයෙන් බඳවා ගැනීම නිසා  අධ්‍යාපනය අඩාල වූ මෙම පිරිස කෙරෙහි විශේෂ අවධානයක් කරමින්, හිටපු ළමා සොල්දාදුවෝ බොහෝ පිරිසක් පසුගිය කාලවලදී ජාතික මට්ටමේ විභාගවලට සහභාගී කරවූ බවත් ඉන් ළමුන් 11 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිට, ඉන් තිදෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ බවද හෙතෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පෙන්වා දුන්නේය.
 
එසේම මේ පිරිසෙන් තවත් බොහෝ දෙනෙකු වෘත්තීය පුහුණුව ලබා රැකියාවන්හි නිරතව සිටින බව ද පීරිස් මහතා මෙහි දී කීවේය.
 
එබැවින් ගෙළ වටා සයනයිඩ් කරල පැළදී දරුවන් පුනරුත්ථාපනය කර ඵලදායී හා යහපත් පුරවැසියන් බවට පත් කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ කාර්යයක් බවද එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.