(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොකැඳවා ඉවත දමන්නැයි නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්න මහතා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (22) දැනුම් දුන්නේය .
මෙම ගනුදෙනුවෙන් කිසිදු මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදුවී නොමැති බවත් කැබිනට්ටුවේ සාමූහික වගකීම කඩ කිරීම බරපතළ වරදක් බවත් නීතිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීම ද බරපතළ වරදක් වන අතර මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලබා ගන්නා අවස්ථාවේදී මෙම ඇමතිවරුන් තිදෙනා ඊට අදාලව කිසිදු විරෝධතාවක් පවත්වා නොමැති බවත් නීතිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙමගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී නොමැති බවත්, මෙම පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ඉවත දමන ලෙසත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය .
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත්තේය.

