යුක්රේන සෙබළුන්‌ව රුසියානු හමුදාව අල්ලා ගනියි


(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේනයේ අව්දීව්කා නගරයෙන් පසුබසින යුක්රේන සෙබළුන්ගෙන් පිරිසක් රුසියානු හමුදාව විසින් අල්ලා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියානු හමුදාව සමඟ පැවැති දරුණු ගැටුම් මධ්‍යයේ ඩොනෙට්ස්ක් නගරයට වයඹ දෙසින් පිහිටි අව්දීව්කා නගරයෙන් පසුබසින බව ඊයේ(16) යුක්රේන හමුදාව නිවේදනය කළේය.රුසියානු හමුදාව එල්ල කරන දරුණු ප්‍රහාර හමුවේ ගත හැකිව තිබූ නිවැරදිම තීරණය නගරයෙන් පසුබැසීම බවත් පසුබසින අවස්ථාවේ හමුදාවේ පිරිසක් රුසියානු හමුදාව විසින් අල්ලා ගනු ලැබ ඇති බවත් යුක්රේන හමුදාවේ දකුණු කලාපයේ අණදෙන නිලධාරී ඔලැක්සැන්ඩර් ට්‍රැනව්ස්කි ප්‍රකාශ කර ඇත.එසේම යුද්ධයේදී රුසියානු හමුදාවට සෑම අතින්ම වාසියක් තිබෙන බවද ඔහු පැවැසුවේය.

ගතවූ පැය 24 තුළදී රුසියානු හමුදා අව්දීව්කා නගරයට ගුවන් ප්‍රහාර 20 ක් හා කාල තුවක්කු ප්‍රහාර 150 ක් එල්ල කර තිබෙන බවත් රුසියානු හමුදා අව්දීව්කා නගරය පෘතුවියෙන් මකා දැමීමට උත්සාහ කරන බවත් අණදෙන නිලධාරියා ප්‍රකාශ කළේය.රුසියානු හමුදා නගරයේ සිටින යුක්රේන හමුදාව සතර අතින් වටකිරීමට පෙර පසු බසින ලෙස සිය හමුදාවට අණ දුන් බව එම නිලධාරියා පැවැසුවේය.