යුක්රේන ධාන්‍ය අපනයනය රුසියාව අවහිර කිරීම


(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේන ධාන්‍ය අපනයනය රුසියාව අවහිර කිරීම ශ්‍රී ලංකාවේ කැළඹීමට යම් දායකත්වයක් ලබා දෙන්නට ඇති බවත් එය තවත් අර්බුද නිර්මාණය කළ හැකි බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

රුසියානු ආක්‍රමණයේ  බලපෑම ලෝකයේ සෑම තැනකටම එල්ල වී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට යම් දායකත්වයක් ලබා දෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත් මාධ්‍ය හමුවේදී ඇන්තනී බ්ලින්කන් මහතා  පැවසුවේය.ඔහු නැවත නැවතත් කළ ඉල්ලීමක් අලුත් කරමින්,ධාන්‍ය ටොන් මිලියන 20 ක් යුක්රේනයෙන් පිට කිරීමට ඉඩ දෙන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටියේය.

ලෝකය පුරා වැඩිවෙමින් පවතින ආහාර අනාරක්ෂිත බවට රුසියානු ආක්‍රමණයද හේතුවක් වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.තායිලන්තයේ පොහොර මිල අහස උසට ඉහළ යාමටද රුසියානු ආක්‍රමණය බලපෑම් එල්ල කර ඇතැයි ඔහු පැවසීය.

ආහාර සහ ඉන්ධන හිඟය හේතුවෙන් සති ගණනාවක් පැවති විරෝධතා වලින් ශ්‍රී ලංකාව විනාශ වී ඇතැයි එන්.ඩී.ටී පුවත් සේවය වාර්තා කළේය.

එක් දේශපාලන පක්ෂයක අභිවෘද්ධිය සඳහා නොව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මේ අවස්ථාවේ කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ඇන්තනී බ්ලින්කන් මහතා පැවසුවේය.ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත්විය හැකි මෙන්ම දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත හැකි විසඳුම් ඉක්මණින් හඳුනා ගනිමින් ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථානුකූලව පවත්වන නව රජයට හෝ තිබෙන රජයට භාර වන බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා වල නියැලෙමින් තම මතය ප්‍රකාශ කිරීමට අයිතියක් තිබෙන බවත් විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහර දීම සම්බන්ධයෙන් අනතුරු අඟවන බවත් ඇන්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කළේය.එසේම විරෝධතාව හා සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගෙන නඩු පැවරිය යුතු බවත් ඇන්තනී බ්ලින්කන් මහතා සඳහන් කළේය.