යළි ගංවතුර තත්ත්වයක්


(ඩයනා උදයංගනී)

බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් ඇතිවිය හැකි වැසි තත්වය සමඟ ගංගා රැසක් ආශ්‍රිතව ගංවතුර අවධානමක් මතු පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ඉදිරි දිනවල දී තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති අතර එම අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණහොත් කැලණි, කළු, බෙන්තර, ගිං, නිලවලා යන ගංඟා සහ අත්තනගලු ඔය, මී ඔය, දැදුරු ඔය, මහ ඔය, සහ කිරම ඔය යන ගංගා ද්‍රෝණිවලට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා කියයි.

පසුගිය දිනවල ඇතිවු වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ජල පිරී ඇති බවත් විශේෂයෙන්ම දැදුරු ඔය ජලාශය, උඩවලව ජලාශය සහ ඉගිනිමිටිය ජලාශය මේ වනවිටත් උපරිම ධාරිතාවයට ලගාවී ඇති බවත් කී අධ්‍යක්‍ෂවරයා ඉදිරියේ දී මෙම ජලාශවල වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බවද සඳහන් කරයි.

විශේෂයෙන්ම දැදුරුඔය ජලාශයේ වාන්දොරටු විවෘත කළහොත් දැරුදු ඔය දෙපස පහත් බිම් ද, උඩවලව ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමෙන් වලවේ ගංගාව දෙපස පහත් බිම් ද, ඉගිනිමිටිය ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම නිසා මී ඔය දෙපස පහත් බිම් ද ජලයෙන් යටවනු ඇතැයි සුගීෂ්වර මහතා කීවේය.

මේ දිනවල සියලුම ගංගා අශ්‍රිත ක්‍රියාකාරකම් වලින් වැළකී සිටින ලෙස හා ගංවතුර අවදානම් නිවේදන පිළිබදව අවදානයෙන් සිටින ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසුවේ බදුල්ල, නුවරඑලිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කලුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල නායයාම් සිදුවීමේ සහ පැතිබැමි, පස් කණ්ඩි කඩාවැටීමේ අවදානමක් ද පවතින බවයි.