මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා තවදුරටත් අත්හිටුවයි


(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල මගින් ලබාදෙනු ලබන සියලුම සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ලංකාදීපයට පැවැසීය.

එම කාලය තුළ 0112 677 877 දුරකථන ඔස්සේ ලබාගන්නා ලද වෙලාවන් වෙන්කිරීම් වෙන් කිරීම් සියල්ලම අවලංගු වන බවද කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

එමෙන්ම දිවයින පුරා පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල මඟින් රියැදුරු බලපත්‍ර වලට අදාළව පවත්වන ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වන බවත් අලහකෝන් මහතා සඳහන් කළේය.

එමෙන්ම මාර්තු 31 දිනට පෙර කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා සදහා මාස 3 ක සහන කාලයක් ලබා දී ඇති අතර අප්‍රේල් පළවෙනිදා සිට සැප්තැම්බර් 30 දා දක්වා කාලය තුළ අවලංගු වන රියදුරු බලපත්‍ර සදහා මාස 6 ක සහන කාලයක් ලබා දී ඇති බවත් හෙතෙම පැවසීය.

තවද 2020 මාර්තු 16 සිට 2021 ජුනි 30 දක්වා කල් ඉකුත් වන සියලුම රියදුරු පුහුණු අවසර පත්‍ර වල වලංගු කාල සීමාව එදා 2021 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කරන බවද සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.