මොරටු සරසවියේ ආචාර්යවරුන්ගෙන් කෝටි 5 ක පොල්ලක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගිවිසුම් හා බැඳුම්කර කඩකළ මොරටුව විශ්ව විද්‍යාලයේ  ආචාර්යවරුන් 35 දෙනකු රුපියල් කෝටි 5 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත.

ගිවිසුම් හා බැඳුම්කර කඩ කළ  අචාර්යවරුන්  16 දෙනෙකුගෙන්  රුපියල් දෙකෝටියකට  වැඩි මුදලක්   අය විය යුතු බවද  එහිදී තොරතුරු හෙළිවී ඇත.

මෙම කරුණු අනාවරණය වූයේ මොරටුව විශ්ව විද්‍යාලයේ 2019 සහ 2020 වර්ෂවලට අයත් විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය  විමර්ශනය කිරිම එහි උප කුලපතිවරයා ඇතුළු ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

කෝප් කමිටුව එහි  සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 8 වෙනිදා රැස්විය.

මෙහිදී කළ විමසුම් වලදී උපකුලපතිවරයා සඳහන් කර ඇත්තේ ආචාර්යවරුන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.

දොළොස් දෙනෙකුගෙන් වාරික වශයෙන් අයකර ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.