මොනරාගල අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට ඇප


( කේෂර ගුණතිලක)
 
ලංසු තැබීමකින් තොරව වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ භාණ්ඩ කීපයක් කූඨ ලේඛන මගින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මොණරාගල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය සහ ඇගේ සැමියා රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ සහතික ඇප දෙකක්  මත මුදාහැරීමට මොනරාගල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එම්.ඩී.එස්.පී දොඩම්ගොඩ මහතා  නියෝග කළේය.
 
මෙලෙස ඇප නියම වූයේ මොනරාගල දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ලෙස සේවය කළ  බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ පදිංචි බෝධියාබදුගේ ශ්‍රියානි කුසුමලතා සහ ඇයගේ සැමියා වන උබේසිංහ වීරබද්දන ආරච්චිගේ වසන්ත උබේසිංහ යන දෙදෙනාටය.
 
2018 දෙසැම්බර් මස 1 වැනි දින මොනරාගල දිසා මහේස්ත්‍රාත් උසාවියේ පැවති වෙන්දේසියේ භාණ්ඩ රැසක් ලංසු තැබීමට ඉදිරිපත් නොකොට රෙජිස්ට්‍රාර්වරිය විසින් රැගෙන ගොස් ඇති බවට අධිකරණය මගින් පොලීසියට දැනුම්දී තිබිණි.ඒ අනුව ක්‍රියාත්මක වූ මොනරාගල පොලිස් කොට්ඨාසයේ වංචා විමර්ශන අංශය මගින් සැකකාරියගේ නිවසේ තිබී ලංසු නොතබා වෙන්දේසියෙන් රැගෙන ගොස් තිබූ භාණ්ඩ රැසක් සොයා ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි.
 
පොලීසිය මගින් ඇයව අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබියදී  ඔවුන් නීතිඥ කේ.පද්මනාදන් මහතා මගින් අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත්  කර තිබිණි.
 
අනතුරුව ඒ පිළිබඳව තීරණය ප්‍රකාශයට පත් කිරීම  අදට (19)  තිබිණි ඇය අද  නීතිඥවරුන් මාර්ගයෙන් නඩුවට ඉදිරිපත්වූවාය. 
ඇප අයදුම්පත ඉල්ලා අස්කැර ගැනීම නිසා මහේස්ත්‍රාත්වරයා  විසින් චූදිතයින්ට මෙලෙස ඇප නියම කෙරිණි.
 
අධිකරණය සතු භාණ්ඩ වෙන්දේසියෙන් වංචනික ලෙස ලබාගැනීම ,කූට ලේඛන සකස් කිරීම සොර බඩු ළඟ තබා ගැනීම,සොරබඩු මුදලට බැහැර කිරීම,රජයේ සේවකයෙක් ලෙස සිටිමින් විශ්වාසය කඩ කිරීම, අධිකරණයේ කාර්ය මණ්ඩලය හා එක්වී සංවිධානාත්මක සොරකම් කිරීම යන චෝදනා යටතේ රජයේ දේපළ අවභාවිතය සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.