මොණරාගලට පොහොර නොලැබීම ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි


(අංජුල මහික වීරරත්න)

මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට පොහොර මිල දී ගැනීමේ වවුචර්පත් නොලැබීම සම්බන්ධව වහාම වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

පොහොර වවුචර්පත් නිකුත් කිරීම ප්‍රමාද වීම සඳහා කිසිඳු හේතුවක් නොමැති බවද අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන්කර තිබෙන බැවින් කිසිඳු ප්‍රමාදයකින් තොරව වවුචර්පත් ලබාදීමට හැකි බවත් අමාත්‍යවරයා කීය.

මොණරාගල දිස්ත්‍රික්කයේ පමණක් නොව අනෙකුත් දිස්ත්‍රික්ක වල ද යම් ප්‍රදේශයක ගොවි ජනතාවට මෙතෙක් වවුචර්පත් ලැබී නොමැති නම් එහි වගකීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ වවුචර්පත් බෙදාහැරීම සම්බන්ධව කටයුතු කරන ප්‍රාදේශීය නිලධාරීන් බාරගත යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වවුචර්පත් බෙදාහැරීම කඩාකප්පල් කිරීම සඳහා කිසියම් නිලධාරියෙක් හෝ නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇත්නම් ඔවුන්ට විරුද්ධව වහාම විනයානුකූල පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.