මෛත්‍රීපාල සිරිසේන මහතා යළි තරඟ කළ යුතුය යන ස්ථාවරයෙන් ශ්‍රීලනිපය ඉවත් වී නෑ


(ඩයනා උදයංගනී)

එළඹෙන ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවමත් ඉවත් වී නැතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පක්‍ෂයේ වත්මන් ස්ථාවරය වන්නේ ඒ සඳහා පක්‍ෂය නියෝජනය කරමින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතුය යන්න බව කී මහලේකම්වරයා සඳහන් කළේය.

තවමත් ඒ ගැන ස්ථිර තීන්දුවක් ගෙන නැතැයි කී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡාවල අවසන් තීන්දුව සළකා බලා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිම් මටට්මින් ශක්තිමත් කර ස්ථිර තීන්දුවක් ගන්නා බව ද කීවේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පක්‍ෂයේ සියලු දෙනාගේම අදහස් හා මතවාදය අනුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන පක්‍ෂයේ තීන්දුව ගන්නා බවත් පාක්‍ෂිකයින් හා මන්ත‍්‍රීවරුන් රැකගෙන, පක්‍ෂය දියවී නොයන අයුරින් එම තීන්දුව ගැනීමට බලාපොරොත්තු වන බවත් මහලේකම්වරයා කීවේය.