මේ වසර මැතිවරණ වසරක් බව මන්ත්‍රී යාපා කියයි


විනීතා එම් ගමගේ
 
පාර්ලිමේන්තුවේ සුළුතරයක් තබාගෙන දමිළ ජනතාවට කිසිදු ප‍්‍රයෝජනයක් නැති, දමිළ සංවිධානය සතුටු කිරීමට පමණක් ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් 2019 වසරේ දී කිසිම හේතුවක් ඇතිව පාර්ලිමේන්තුව තුළ සම්මත කිරිමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

මෙහි දී දමිළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ප‍්‍රශ්නයක් මතු නොවන බවත් මේ ව්‍යවස්ථාවෙන්  කිසිසේත්ම දමිල ජනතාවගේ අයිතිය සුරැකෙන්නේ නැති බවත් අබේවර්ධන මහතා කියා සිටියේය. 

පාර්ලිමේන්තුව තූල ආණ්ඩවේ දැඩි  ලිබරල් මතය රැක ගැනීමට දමිළ ජාතික සංවිධානය දෙන සහයට කළගුණ නොසළකා නොහැකි යැයි කී මන්ත‍්‍රීවරයා දමිළ ජනතාව නැතිව ටී එන් ඒ සංවිධානයට කළගුණ සැලකීමට ආණ්ඩුව සුදානම් යැයි ද කීය. 

ව්‍යවස්ථා සංශෝධන කමිටුව හැදු වෙනස්කම් එක්කම මහජනතාවට ඉදිරිපත් කර අනුමැතිය  ගන්නවා විනා මේ පිරිසට උවමනා අන්දමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් සම්මත කර ගැනීමට තමන් ඉඩ නොදෙන බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. 
මැතිවරණ තුනම එකවර තබන බවට එජාපය කරන ප‍්‍රකාශය විහිලූවක් බවත් එසේ සිදුකළ නොහැකි බවත් පෙන්වා දුන් අබේවර්ධන මහතා පාර්ලිමේන්තු බලය නුල් සුත්තරවලින් රැකගෙන සිටින්නට ආණ්ඩුවට සිදුවී ඇතැයි ද සඳහන් කළේය. 

අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ නෙළුම්මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ අද (1) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.