ශ්‍රී ලංකාවට කසළ ආනයනය කළැයි එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්‍ෂේප කරන බව සීමා සහිත හේලීස් ෆ්‍රී සෝන් සමාගමේ (Hayleys Free Zone Limited - HFZ) අධ්යක්ෂ අසංක රත්නායක මහතා කොළඹදී ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
හේලීස් ෆ්‍රී සෝන් යනු ප්‍රතිඅපනයනය සහ අගය එකතු කිරීමේ සේවා සැපැයීමේ අරමුණින් 2013 අංක 01 පනත යටතේ ස්ථාපිත කළ නීත්‍යනුකූල ආයතනයක් යැයි කී අධ්‍යක්‍ෂවරයා අදාළ මෙට්ට බහාලුම්වල සැබෑ හිමිකරුවා වන්නේ ඒ.ටී.එල්. කලම්බු සමාගම බව ද සඳහන් කළේය.
නැව් භාණ්ඩ ප්‍රවාහන සමාගමක් වන ඊ.ටී.එල්. කලම්බු සමාගම මගින් සිලෝන් මෙටල් ප්‍රොසෙසින් කෝපරේෂන් සමාගමට අයත් භාවිත කරන ලද මෙට්ට තොගයක් නැවත සකසා ප්‍රතිඅපනයනය කිරීමට හේලීස් ෆ්‍රීසෝන් සමාගම තෝරාගෙන තිබූ බවත් එසේ එවන භාණ්ඩ හේලීස් ෆ්‍රීසෝන් සමාගමට එවීමේදී නීත්‍යනුකූලව එම භාණ්ඩ ආනයනකරු ලෙස හේලීස් ෆ්‍රී සෝන් සමාගම නම් කළ යුතුව තිබූ බවත් සමාගමේ අධ්යක්ෂ අසංක රත්නායක මහතා සඳහන් කළේය.
භාවිත කරන ලද මෙට්ටවලට අමතරව වෙනත් කිසිදු අපද්‍රව්‍යයක් එම බහාලුම්වල නොතිබූ බව ද ඔහු කියා සිටියේය.
කොළඹ කිංස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අසංක රත්නායක මහතා මෙසේ ද කීය.
“ප්‍රශ්නගත බහාලුම් හේලීස් ෆ්‍රීසෝන් අංගනයේ ගබඩා කිරීමට එකඟ වූයේ අදාළ බහාලුම් 130 තුළ කිසිදු හානිකර ද්‍රව්‍යයක් අඩංගු නොවන බවට ලියකියවිලි මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.
එම බහාලුම් 130න් 29ක් මේ වනවිටත් හේලීස් ෆ්‍රීසෝන් ආයතනය මගින් පිරිසැකසුම් කර ප්‍රතිඅපනයනය කර තිබෙනවා. අදාළ මෙට්ට වෙන් කර ඒවායේ වැස්ම, ස්පොන්චර්, ලොම් රෙදි සහ වානේ ඉවත් කර ඒවා වෙන් වෙන්ව ඇසුරුම් කර සිලෝන් මෙටල් සමාගමේ අවශ්‍යතාව පරිදි ප්‍රතිඅපනයනය කිරීම අපගේ නැවත සැකසුම් ක්‍රියාවලියයි.
කෙසේ වෙතත් පවතින තත්ත්වය මත ඉතිරි මෙට්ට ඉතා ඉක්මනින් පිරිසැකසුම් කර ප්‍රතිඅපනයනය කිරීමට තීරණය කර තිබෙනවා.”
කොළඹ වරායේ ගබඩා කර ඇති බහාලුම් 102 සම්බන්ධයෙන් අප ආයතනයේ කිසිදු සම්බන්ධයක් නැති බව අවධාරණයෙන් කියා සිටින බව ද අසංක රත්නායක මහතා කීය.
මෙම මාධ්‍ය හමුව සඳහා හේලීස් ෆ්‍රීසෝන් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන රුවන් වෛද්‍යරත්න සහ අමල් රුද්‍රිගු යන මහත්වරු ද සහභාගී වූහ.

