මෙගතිලික සොහොන් මතුවීමෙන් ඉදිකිරීම් නවතයි


(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය,  කුච්චවේලි  ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාසයට අයත් වල්ලුවර්  කොට්ටන් “නිවාස යෝජනා ක්‍රමයේ  දෙවන අදියරේ  නිවාස ඉදිකිරීමේදි  “ආදි මානවයන්ගේ ශිෂ්ඨාචාරයක්  සහිත මෙගතිලික  සොහොන් “කිහිපයක්  හමුවීම  නිසා එම ප්‍රදේශයේ ඉදිකිරීම්  නැවැත්වීමට පියවර ගත්බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

වසර 3000කට  වඩා පැරණි  මෙම සොහොන් අතරින් දැනට  සොහොන් 12ක නටබුන්  මතුවී ඇති බවත් නිවාස  ඉදිකිරිම් සඳහා  නොදැනුවත්කමින් සොහොන් පහක ගල් ගලවා ඉවත් කර පසෙක ගොඩ ගසා ඇති බවත් ත්‍රිකුණාමලය ප්‍රාදේශිය  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා පැවසීය.

ඇතැම් සොහොන්වලට නිදන් හොරු  හානි කර ඇති බව කී  අධ්‍යක්ෂවරයා සමහර සොහොන් තවමත් සුරක්ෂිතව පවතින බවද  දක්නට ඇතැයි කීය.

මෙගතිලික සොහොන් යනුවෙන් හඳුන්වන ආදි මානවයාගේ මෙවැනි  සොහොන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ  යාංඔය,  මහින්දපුර ආදි ප්‍රදේශවලින් මුලින් හමු වී ඇති අතර වල්ලුවර්  කොට්ට්න් වලින්  හමු වූ තුන්වැනි ස්ථානය මෙය වේ. මෙවැනි ඉදිකිරීම් සිදුකිරීමේදී පුරාවිද්‍යා වාර්තාවක් කැඳවිය යුතු වුවත් එම නීති රාමුවෙන් පිට මෙම කටයුතු සිදුකර තිබීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවද සහකාර අධ්‍යක්ෂවරයා කීය.