(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සේවා කොන්ත්‍රාත් කාලය දිගු නොකර තමා නාවික හමුදාවෙන් නෙරපීමෙන් නාවික හමුදාවේ නායක විදුලි ශිල්පීයකුගේ මූලික අයිතිවාසිකම් නාවික හමුදාපතිවරයා කඩ කර ඇති බවට තීන්දු කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් පනස් දහසක මුදලක් එම තැනැත්තාට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේය.
නාවික හමුදාවේ එම විදුලි ශිල්පියා සේවයෙන් නෙරපීමේ ලිපිය බලශූන්‍ය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ සේවා දිගුව පිළිබද අයදුම්පත යළි සලකා බලන ලෙසටද නාවික හමුදාපතිවරයාට නියෝග කරනු ලැබ ඇත.
ඇඹිලිපිටිය තෙල්බදුරුඹය ,සිසිල් උයන ප්‍රදේශයේ පදිංචි පේදුරු ආරච්චිලාගේ ජානක පුෂ්පකුමාර මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ විදුලි හා විද්යුත් අංශයේ අධ්‍යක්ෂ ජනාරාල් , නාවික හමුදාපතිවරයා ඇතුළ පස් දෙනෙක් නම් කරනු ලැබ සිටියහ.
ප්‍රීතී පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ඒකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් තීන්දුව ප්‍රකාශ කරනු ලැබීය.

