මූල්‍ය අරමුදල


(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් එය ඇහුම්කන්දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් නමුත් එලෙස ඉදිරිපත් කරන මත යථාර්තවාදී විය යුතු බවත් ඒවා ආධාර වැඩසටහනේ නියමිත කාල සීමාව තුළ අවසන් කළ හැකි වියයුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා  පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ගරු කරන බවත් මීළඟ මැතිවරණයේදී බලයට පත් කරගන්නේ කවුරුන්ද යන වග ශ්‍රී ලාංකිකයන් තීරණය කළ යුතු බවත් පීටර් බෘවර් මහතා පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලු දෙනාගේ මත වලට ඇහුම්කන් දීමට සූදානම් නමුත් එම මත යථාර්තවාදී වියයුතු බව ඔහු ප්‍රකාශ කළේය.

කිසිමවිටෙක  වර්තමානයේ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි බව බෘවර් මහතා පැවැසුවේය.1980 දශකයේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් වූ රජයේ ආදායම 2022 වනවිට සියයට 8 ක් දක්වා පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

බදු අඩුකිරීමෙන් ඇති වූ බලපෑම මේ වනවිට පෙනෙන්ට තිබෙන බවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයටද එය එක් හේතුවක්වූ බවත් පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේය.මෙරට ආර්ථිකය ගොඩ ගැනීම සඳහා රජයේ ආදායම ඉහළ දැමීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඒ හේතුවෙන් මෙරට ලබාදී ආධාර වැඩසටහන යටතේ රජයේ ආදායම ඉහළ දැමීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමුකළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

නැගී එන වෙළඳපොළක් ඇති සහ මැදි අදායම් ලබන රටවල රජයන්හි ආදායම සාමාන්‍යයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26 ක් වුවත් එම කාල සීමාව තුළදී මෙරට රජයේ අදායම සියයට 9.3 ක් බව පීටර් බෘවර් මහතා පැවැසුවේය.