මුස්ලිම් නායකයින් කියා ගන්නා අය පාර්ලිමේන්තුවෙන් එළියට දමන්නැයි කියයි


(විනීතා එම් ගමගේ)
 
කතෝලික පල්ලි හා හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට තමන් සම්බන්ධ නැතැයි කියන්නට මුස්ලිම් ජනතාවගේ නායකයින් යැයි කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට තවමත් නොහැකි වී ඇතැයි මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් ආචාර්ය රොෂාන් හාසිම් මහතා ප්‍රකාශ කළේය.

මේ නායකයින්ට පාර්ලිමේන්තුව තහනම් කර ඔවුන් ගැන පරීක්ෂණ ආරම්භ කළ යුතු යැයි තම සංවිධානය රජයට යෝජනා කර සිටින බව ද ආචාර්ය හාසිම් සඳහන් කළේය.

කුඩා කණ්ඩායම් ලෙස සංවිධාන ගතවී සිටින මුස්ලිම් සංවිධාන වහා තහනම් කර එම කණ්ඩායම් තුළ සිදුවන ආගමික භාවිතාව කුමක්දැයි සොයා බැලීම සඳහා ජමියතුල් උලමා සංවිධානයට බාරදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය. 

එකී ප්‍රහාරයන්ට විරෝධය පළකරමින් වැඩ නොකර සිටින්නැයි එම නායකයින් යැයි කියාගන්නා තැනැත්තන් ඉල්ලා සිටින්නේ යැයි කී ලේකම්වරයා එසේ සිටීම නිසා රට තව දුරටත් ආපස්සට යන බව මෙම තැනැත්තන්ට නොතේරීම රටේ අවාසනාව යැයි ද කියා සිටියේය. 

දිගන දී මෙම පිරිස් කළ මැදිහත්වීම් මේ අවස්ථාවේ නැත්තේ මන්දැයි තමන් විමසා සිටින බව කී ආචාර්ය රොෂාන් හාසිම් සුළු මුස්ලිම් පිරිසක් විසින් කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවටම ඇගිල්ල දිගු කරන්න එපා යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද පැවැසීය.

කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.

"මුස්ලිම් දේශපාලන නායකයින් මුස්ලිම් සංවිධාන හා මුස්ලිම් ජනතාව නියෝජනය කරනවා නම් වහාම ඉදිරියට එන්න. දිගනදී කරපු කැපකිරීම දැන් ඉටු කරන්න. සුළු මුස්ලිම් පිරිසක් විසින් කරපු ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවටම ඇගිල්ල දිගු කරන්න එපා. අපි සෑහෙන්න අසරණ වෙලා තියෙන්නේ. මේ රටේ ඉන්න සුළු ජන කොටසක් ලෙස මුස්ලිම් නායකයින්ගෙන් ඈතට වෙන්න. මේ අය කවදාවත් තමන්ගේ සාක්කුවෙන් කිසිම දෙයක් මුස්ලිම් ජනතාවට ලබාදුන්නේ නෑ."