මුස්ලිම් ඡන්ද නැතිව කිසිවෙකුට ජනාධිපති පුටුවේ වාඩිවෙන්න බෑ


(එෆ්.අස්ලම්)

පවතින මැතිවරණ ක්‍රමයට අනුව ජනාධිපතිවරුන් සිව්දෙනෙකුම බලයට පත්වූයේ මුස්ලිම් ප්‍රජාවේ සහායෙන් බවත් මුස්ලිම් ප්‍රජාවගේ සහාය නොමැතිව කිසිවෙකුට ජනාධිපතිධූරයට පත්විය නොහැකි බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා පවසයි.

කාත්තාන්කුඩි දාරුස්සලාම් ප්‍රදේශයේ රජයේ සංවර්ධන ව්‍යාප්ති කිහිපයක් ආරම්බ කිරීමේ  උත්සවයක් හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර එහිදී මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා  මේ බව අවධාරණය කළහ.

"ජේ.ආර්.ජයවර්ධනගේ පටන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වා පත්වූ මෙරට ජනාධිපතිවරුන් සියලුදෙනාම බලයට පත්වුනේ මුස්ලිම් ප්‍රජාවගේ සහාය නිසයි.වත්මන් මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වූ දා පටන් ආර්.ප්‍රේමදාස,චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන කියන මේ ජනාධිපතිවරුන් සිව්දෙනාම බලයට පත්වුනේ මුස්ලිම් ඡන්ද නිසයි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මුස්ලිම් ජනතාව ඡන්දය නොදුන්න නම් ඔහුට ජයග්‍රහණය කරන්න වෙන්නෙ නැහැ. ලක්ෂ අටක මුස්ලිම් ජනතාවක් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නා.මුස්ලිම් ඡන්ද නොමැතිව ඉදිරි ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියල ඇතැමුන් පවසනවා. නමුත් මුස්ලිම් ජනතාවගේ ඡන්ද නැතිව කිසිවෙකුට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැහැ "යැයිද හිස්බුල්ලා මහතා කීය.