මුල් වටයේදීම ආසාදිතයින් 3000 පනී


(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 3051 දෙනෙක් අද (19) දිනයේ වාර්තාවූහ.

මෙය දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන අතර ආසාදිතයින් 3,000ක් ඉක්මවා ගියේද පළමු වරටය.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද 1,50,000 ඉක්වමා ගිය අතර මේ වන විට මෙරටින් වාර්තා වී ඇති ආසාදිත සංඛයාව 1,50,771 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිතයන් දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලට අයත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මේ අතරින් ආසාදිතයන් 26,575 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,222 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,22,367 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1015 කි.